සෛලීය ශ්වසනය ( 02 කොටස )
note එක බලන්න👇👇👇
නිර්වායු ශ්වසනය
අණුක ඔක්සිජන් නැතිවිට ග්ලුකෝස් බිඳ දැමීම නිර්වායු ශ්වසනයයි. නිර්වායු ශ්වසනයට අදාළ එන්සයිම තියෙන්නෙ සයිටොසොලයේ නිසා මෙය සිද්ධවෙන්නෙ සයිටොසොලයේ. යීස්ට් සහ බොහෝ බැක්ටීරියා ATP හදාගන්න ප්‍රධාන මාර්ගය වෙන්නේ නිර්වායු ශ්වසනය.
නිර්වායු ශ්වසනයේ දී සිද්ධවෙන්නේ ග්ලයිකොලිසිය විතරයි. පයිරුවේට් ATP හා NADH නිපදවෙනවා. නමුත් පයිරුවේට් සෛල ප්ලාස්මයේ ඉතිරි වෙනවා. ක්‍රෙබ්ස් චක්‍රය සහ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සිද්ධ වෙන්නේ නැහැ. අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වෙන්නේ ඔක්සිජන් නොවන වෙනත් ද්‍රව්‍යයක්.
ග්ලයිකොලිසියෙන් නිපදවෙන ATP ශක්තිය ලබා ගැනීමට භාවිතා කරනවා. නමුත් NADH ප්‍රයෝජනයට ගන්න බැහැ. NADHඅවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඔක්සිහරණයට යොදාගන්නවා. මේ ක්‍රියාවලිය පැසීම ලෙස හදුන්වනවා. පයිරුවේට් මගින් නිපදවන අන්තඵල අනුව පැසීම් ආකාර කිහිපයක් තියෙනවා. ඉන් වඩා සුලබ ආකාර 2 වෙන්නේ
1. එතිල් මධ්‍යසාර පැසීම
2. ලැක්ටික් අම්ල පැසීම
එතිල් මධ්‍යසාර පැසීම
මෙහි අන්ත ඵලය මධ්‍යසාරයක් වන එතනෝල් නිසා තමයි එතිල් මධ්‍යසාර පැසීම කියලා හදුන්වන්නේ. මෙහිදී ස්වායු ශ්වසනයේ දී වගේම ග්ලයිකොලිසිය සිද්ධවෙලා එක ග්ලුකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් ATP අණු දෙකක් සහ NADH අණු දෙකක් නිපදවනවා. ඊට පස්සේ පියවර දෙයකට ලක්වෙනවා.
මුලින්ම පයිරුවේට් කාබන්ඩයොක්සයිඩ් අණුවක් නිදහස් කරලා ඇසිටැල්ඩිහයිඩ් බවට පත් වෙනවා. ඊට පස්සේ ඇසිටැල්ඩිහයිඩ් ග්ලයිකොලිසියේදී නිපදවූ NADH භාවිතයෙන් එතනෝල් බවට ඔක්සිහරණය වෙනවා. ඒ අනුව එතිල් මධ්‍යසාර පැසීමේ අවසාන H ප්‍රතිග්‍රාහකයා වෙන්නේ කාබනික සංයෝගයක් වන ඇසිටැල්ඩිහයි. යීස්ට් ඇතුළු බොහෝ බැක්ටීරියා සිද්ධ කරන්නේ මධ්‍යසාර පැසීම.
ලැක්ටික් අම්ල පැසීම
අවසාන ඵලය ලෙස ලැක්ටික් අම්ල නිපදවන නිසා මෙම නිර්වායු ශ්වසන ක්‍රමය ලැක්ටික් අම්ල පැසීම කියල හඳුන්වනවා.
මෙහිදීත් පලවන පියවර ලෙස ග්ලයිකොලිසිය සිද්ධ වෙනවා. ඒ නිසා එක ග්ලුකෝස් අණුවකින් පයිරුවේට් අණු දෙකක් ATP අණු දෙකක් සහ NADH අණු දෙකක් නිපදවනවා. ඊට පස්සේ පයිරුවේට් NADH මගින් සෘජුවම බවට ඔක්සිහරණය වෙනවා. මෙහිදී කාබන්ඩයොක්සයිඩ් නිදහස් වීමක් සිද්ධ වෙන්නෙ නැහැ. අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වෙන්නේ කාබනික සංයෝග.
සමහර දිලීර සහ බැක්ටීරියා ලැක්ටික් අම්ල පැසීම සිද්ධ කරනවා. යෝගට් සහ මුදවපු කිරි නිපදවන ලැක්ටික් අම්ල බැක්ටීරියා සිද්ධ කරන්නෙත් ලැක්ටික් අම්ල පැසීම.
ස්වායු ස්වසනය සහ නිර්වායු ශ්වසනය අතර වෙනස්කම්
ස්වායු ස්වසනය |
නිර්වායු ශ්වසනය |
ඔක්සිජන් අවශ්‍යයි |
ඔක්සිජන් අවශ්‍ය නොවේ |
වැඩි ශක්තියක් නිදහස් කරයි |
අඩු ශක්තියක් නිදහස් කරයි |
අන්තඵල ලෙස ජලය හා කාබන්ඩයොක්සයිඩ් |
අන්තඵල ලෙස එතනෝල් හා කාබන්ඩයොක්සයිඩ් හෝ ලැක්ටික් අම්ලය |
සම්පූර්ණ ඔක්සිකරණයකි |
අසම්පූර්ණ ඔක්සිකරණයකි |
අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඔක්සිජන්ය |
අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කාබනික සංයෝගයි |
ශ්වසනයේදී වෙනත් උපස්තර භාවිතය
ප්‍රධාන ශ්වසන උපස්තරය ග්ලුකෝස් උනාට හැම සෛලයකම වගේ ග්ලූකෝස් වලට අමතරව වෙනත් කාබනික ද්‍රව්‍ය ශ්වසන උපස්තරය විදියට භාවිතා කරනවා. ග්ලයිකොජන් පිෂ්ටය හා සුක්‍රෝස් මුලින්ම ග්ලුකෝස් බවට බිඳහෙළල ග්ලයිකොලිසියට උපස්තර විදිහට යොදා ගන්නවා.
මේද ශ්වසනයට ලක් කරද්දි මුලින්ම මේද අම්ල සහ ග්ලිසරෝල් බවට බිඳ හෙළනවා. මේද අම්ල කාබන් 2ක් සහිත ඇසිටයිල් CoA බවට පත්කරලා ක්‍රෙබ්ස් චක්‍රයට සම්බන්ධ වෙනවා. ග්ලිසරෝල් ග්ලිසරැල්ඩිහයිඩ් බවට පත් කරලා ග්ලයිකොලිසියට සම්බන්ධ කරනවා.
ප්‍රෝටීන ශ්වසනයට ලක් කිරීමේ දී මුලින්ම ඇමයිනෝ අම්ල බවට බිදහෙලනවා. ඇමයිනෝ අම්ල ඊට පස්සේ ඇමන්හරණයට ලක් කරනවා. මෙහිදී ඇමයිනෝ අම්ලවල තියෙන NH2 කාණ්ඩය ඇමෝනියා විදිහට නිදහස් වෙනව. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇමයිනෝ අම්ල කාබොක්සිලික් අම්ල බවට පත් වෙනවා. ඊට පස්සේ ඇතැම් කාබොක්සිලික් අම්ල ග්ලයිකොලිසියටත් ඇතැම් ඒවා ක්‍රෙබ්ස් චක්‍රයටත් පිවිසෙනවා.
ශ්වසනය සඳහා භාවිතා කරනු ලබන උපස්තරය අනුව නිදහස්වන කාබන්ඩයොක්සයිඩ් පරිමාව සහ භාවිතාව ඔක්සිජන් පරිමාව විවිධයි.
කාබෝහයිඩ්‍රේට මේද හා ප්‍රෝටීන සඳහා ශ්වසන ලබ්ධිය පිළිවෙලින් 1.0, 0.7 හා 0.8 වෙනවා.
Post a Comment